මම නත්තලට කැමති ඇයි?

මම නත්තලට කැමති ඇත්තටම වෙන දෙයක් නිසා නෙමේ, අවුරුද්ද අගටම එන දිග නිවාඩුව නත්තල නිසා සහ අවුරුද්දෙ අග පොඩි නිවාඩුවක් ගැනීමේ අවශ්‍යතාවය නත්තල ලං වෙනකොට ඉබේම දැනෙන නිසා. සහ මගේ ගම මේ කාලෙට නුවරඑළිය වගේ වෙන හින්දා වෙනම වයිබ් එකක් දැනෙන හින්දා.

Galkiriyagama | Home

බෞද්ධ නිසා ඉපදෙනකොට සහ ක්‍රිස්තියානි ආගම හෝ ඊට සම්බන්ධ පුද්ගලයෙක් හෝ සමඟ කිසිම සබඳතාවක් නොතිබීම නිසා නත්තලවත්, කිතූනු දහම ගැනවත් ඇත්තටම අවබෝධයක් නැති තරම්. හැබැයි මගේ තාත්තාට තිබුණා හොඳ දැනුමක් හැම ආගමක් ගැනම. ගෙදර තිබුණ පොඩි පුස්තකාලෙ හැම ආගමකම මූලික පොත් තිබුණා. තාත්තා නැති උනාම අපි ගොඩක් පොත් දුන්නා. “මිනිසා කියවීමෙන් සම්පූර්ණ වේ” කිව්වට එහෙම සම්පූර්ණ වෙච්ච මනුස්සයෙක්ට කියල මම දැකපු එකම කෙනා තාත්තා. පොඩි කාලෙ ඉඳන් කියවීමේ පුරුද්ද අපිට තිබුණට මේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් වලට පුරුදු වීම හින්දා ඊ-පොත් කියවීම, බ්ලොග් කියවීම හින්දා පොතක් අරගෙන බැල්කනියක වාඩි වෙලා කෝපි එකක් බොන ගමන් ඒක කියවීම දැන් අත්හැරිල. ඒ පොත් කියවීමේ පුරුද්ද බින්දුවට නැති වෙයි කියල බයට තාමත් කැම්පස් පුස්තකාලෙන් හැම සතියෙම පොත් දෙකක් මාරු කරනවා. ඒත් ඒවා රස සාහිත්‍ය නෙමේ. සමාජ වැඩ, සමාජ ප්‍රශ්න, දේශපාලනය එකී නොකී අධ්‍යාපනය සම්බන්ධ ඒවා. ලස්සන නවකතාවක්, කවි පොතක් කියවීමේ ආසාව ආවත් අලුතින් පටන් ගත්ත Social Work Diaries Youtubue Channel එකට වෙලාව වෙන් කරාම අර දේට වෙලාව නැති වෙලා යනවා. මෑතකදී අපේ දේශකවරයෙක් ඇහුවා කවුද පත්තර කියවන්නෙ කියල ඇහුවා. ඇත්තටම එතකොට තමයි කල්පනා උනේ අතින් පත්තරයක් අරන් කියවපු කාලයක් මතක නෑනෙ කියල. ඒවත් දැන් ඊ-පත්තර කියවන්න පුරුදු වෙලා අපි! ලෝකෙ තාක්ෂණය එක්ක කොච්චර වෙනස් වෙලාද. අපි වෙනස් වෙලාද!

.

නත්තල ගැන කතා කරද්දි, වෙලාවකට දුකත් හිතෙනවා පොඩි කාලෙ ඉඳන් විවිධ ජාති, ආගම් මිශ්‍ර සමාජයක ජීවත් වෙන්න පුළුවන් උනා නම් හොඳයි කියල. එතකොට නත්තල ගැන, හජ් ගැන, දිවාලි ගැන ඇත්තටම හැඟීමක් එන්න තිබුණා ඒ ඒ උත්සව කාලෙට. ලංකාව බහු සංස්කෘතික රටක් කිව්වට, සමහර වෙලාවට මම කල්පනා කරනවා ඇත්තටම එහෙනම් කෝ මට ඒ බහු සංස්කෘතික හැඟීම නැත්තෙ ඇයි කියල. පසු කාලෙ සමාජ වැඩ විශයක් විදිහට ඉගෙන ගන්න ඇවිත් ඒ හරහා විෂයානු බද්ධව, නමුත් උනන්දුවක්, උවමනාවක් සහ කුතුහලයක් ඇතුව ඉගෙන ගත්ත, ඇඟට ඔලුවට දාගත්‍ත හැඟීමක් තමයි මට තියන්නෙ. එක අතකින් එහෙම හරි බහු සංස්කෘතිකයි කියන හැඟීම තියන එකත්ම ලොකු දෙයක් කියල හිත මම හදාගන්නවා!

.

බහු සංස්කෘතිය ගැන කියද්දි මතක් වෙන්නෙ මීගමුව. මීගමුව තමයි මම දැක්ක හොඳම බහු සංස්කෘතික නගරය. උපාධියේ දවස් 10ක අධ්‍යන චාරිකාවක් කරන්න අපි ගියා මීගමුවෙ සිරිවර්ධන පෙදෙසට. මම හිතන්නෙ එහෙම හොඳ මිනිස්සු මගේ ජීවිතයේ මට කවදාවත් හමුවෙලා නැතුව ඇති. මේ අය දෙමළ, සිංහල, ඉංග්‍රීසි, තව ඉතාලි, එක එක භාෂා කතා කරනවා. මීගමුව කියන්නෙ මට අමුතු ලෝකයක්. අද එහෙ හැමෝටම නත්තල් ඇති!

Sirikurusa Church Seeduwa

කොහොම හරි පස්සෙ කාලෙක උනත් ක්‍රිස්තියානි ආගමික මිතුරන් හමුවීම ඔවුන් සදාකාලික මිතුරන් වීම ගැන මට දැන් තියන්නෙ ලොකු ආඩම්බරයක්. ඒ හින්දා තව දුරටත් නත්තල කියන්නෙ නිවාඩුවක් ම නෙමේ. මගේ යාලුවො අද නත්තල් සමරනවා ඇති. එයාලට Whatsapp හරහා සුබ පතන්න ඕනෙ, කේක් ඉල්ලන්න ඕනෙ කියල හැඟීමක් ගෙන එන දෙයක්! ජේසු තුමා කියල තියනවා මෙහෙම දෙයක්, මම කැමතිම වාක්‍යයක්.

“Don’t worry about tomorrow, for tomorrow will bring its own worries. Today’s trouble is enough for today.” Jesus Christ, Matthew 6:34

හෙට දවස ගැන කරදර නොවන්න, මන්ද හෙට තමන්ගේම කරදර ගෙන එනු ඇත. අද තියෙන කරදර අදට හොඳටම ඇති.”

ඒ හින්දා අද සතුටින් ඉන්න! සුබ නත්තලක්!

- Social Work Diaries -

--

--